පාසල් ආපන ශාලාවල අලෙවි කිරීමට අවසර ඇති ආහාර ලැයිස්තුව

ප්‍රවෘත්ති

2025 වසරේ ජාතික පෝෂණ මාසයට සමගාමීව නිකුත් කළ දත්ත අනුව වයස අවුරුදු 5ට අඩු දරුවන් අතර මිටිබව 10.1%ක්, කෘෂබව 8.6%ක්, අඩු බර 16.1%ක් සහ අධි බර/තරබාරුකම 0.57%ක් ලෙස වාර්තා වී ඇත.

2024 වසරේ ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණයට (Global School-based Student Health Survey) අනුව, අවුරුදු 13–17 අතර සිසුන්ගෙන් සැලකිය යුතු පිරිසක් සෞඛ්‍යයට අහිතකර ආහාර සහ පාන නිතර පරිභෝජනය කරන බව අනාවරණය වී ඇත.

එම දත්ත අනුව සිසුන්ගෙන් 17.4%ක් දිනපතා කාබනීකෘත බීම පානය කරන අතර 28%ක් දිනපතා සීනි සහිත පානයන් පරිභෝජනය කරති. තව ද, වයස අවුරුදු 13-17 අතර පාසල් සිසුන්ගෙන් 28.5%ක් ලුණු අධික කෙටි ආහාර සහ 29.3%ක් මේදය අධික ආහාර දිනපතා පරිභෝජනය කරන අතර 40.9%ක් අධික සීනි සහිත ආහාර භාවිත කරති.

සිසුන්ගෙන් 70.4%ක් අවම වශයෙන් සතියකට එක් වරක්වත් ක්ෂණික ආහාර ලබාගෙන ඇති බව එම සමීක්ෂණයෙන් කරුණු අනාවරණය වී ඇත.

පාසල් තුළ ප්‍රවර්ධනය කළ යුතු ආහාර සහ පාන වර්ග මොනවා ද?

පාසල් ආපන ශාලාවල ප්‍රධාන ආහාර, කෙටි ආහාර සහ පාන වර්ග ලෙස ප්‍රවර්ධනය කළ යුතු ආහාර ලැයිස්තුවක් මෙම චක්‍රලේඛයේ සඳහන් කර ඇත.

ඒ අනුව බත් වර්ග, කිරිබත්, පොංගල් බත්, පිට්ටු, ඉඳිආප්ප, ආප්ප සහ බිත්තර ආප්ප, කොස් කොත්තු සහ ඉඳිආප්ප කොත්තු, රොටී වර්ග (පෝෂණ රොටි/කුරක්කන් රොටි), තෝසේ (මුං තෝසේ, මසාලා තෝසේ), ඉට්ලි, එළවළු උත්තාපම්, උප්පුමා, හාල්පිටි/කුරක්කන්/පාන් පිටි නූඩ්ල්ස්, තම්බාගත් අල වර්ග (ගාගත් පොල් සහ ලුණු මිරිස් හෝ උම්බලකඩ සම්බෝල සමග), පරිප්පු, කඩල, කව්පි, සෝයා බෝංචි, මුං ඇට වැනි පියලි ඇට තම්බා හෝ ව්‍යංජන ලෙස සකස් කර ගත් ආහාර සහ තෙම්පරාදු කළ ඇට වර්ග ප්‍රධාන ආහාර ලෙස ප්‍රවර්ධනය කළ යුතු බව සඳහන් වේ.

තව ද, බිත්තර, ටූනා හෝ එළවළු සලාද සහ සැන්ඩ්විච්, එළවළු/මස්/මාළු/බිත්තර ව්‍රැප්ස්, එළවළු සලාද, පලා මැල්ලුම්, එළවළු ව්‍යංජන, මාළු සහ මස් ව්‍යංජන, අච්චාරු සහ මෝජු වර්ග ද ප්‍රධාන ආහාර ලෙස ප්‍රවර්ධනය කළ යුතු බව දක්වා ඇත.

කෙටි ආහාර ලෙස පළතුරු, පළතුරු කෙබාබ්, සීනි සහ ලුණු නොයෙදූ කැපූ මිශ්‍ර පළතුරු කප්, අමු හෝ තම්බා කැබලි කළ එළවළු, පොප්කෝර්න් (සීනි, ලුණු, වර්ණකාරක හෝ රසකාරක නොයෙදූ), කඩල කප්, කජු සහ රටකජු වැනි බීජ සහ ඇට වර්ග, මුහුන් යොදා මුදවාගත් කිරි, සීනි අඩුවෙන් යෙදූ වණ්ඩු ආප්ප සහ කිතුල් පිටි තලප ප්‍රවර්ධනය කළ යුතු බව සඳහන් වේ.

පාන වර්ග ලෙස ජලය, නැවුම් දියර කිරි, කැඳ වර්ග (හාල්, කුරක්කන්, මිශ්‍ර ධාන්‍ය, පොල් කිරි, කොළ කැඳ, මුං ඇට කිරි කැඳ, කිතුල් පිටි කැඳ), සුප් (රසකාරක නොයෙදූ), අඩු සීනි සහිත තේ සහ කෝපි, ඖෂධීය පානයන් (ඉරමුසු, රණවරා, බෙලි මල්, කොත්තමල්ලි), තැඹිලි, කුරුම්බා, පොල් වතුර සහ සීනි/ලුණු අඩුවෙන් යෙදූ ස්වභාවික පළතුරු යුෂ අලෙවි කළ හැකි බව අමාත්‍යංශය සඳහන් කරයි.

පාසල් ආපන ශාලාවල සහ පාසල් පරිශ්‍රයේ අලෙවි කිරීම තහනම් ආහාර මොනවා ද?

මෙම චක්‍රලේඛය මගින් පාසල් ආපනශාලාවල සහ පාසල් පරිශ්‍ර තුළ අලෙවිය තහනම් කර ඇති ආහාර ලැයිස්තුවක් ද සඳහන් කර ඇත.

ඒ අනුව සැකසූ මස් සහ මාළු වර්ග (සොසේජස්, මීට් බෝල්ස්, බේකන්, හැම්), එවැනි මස් යොදා සකස් කරන ලද ආහාර (බර්ගර්, හොට්ඩොග්, සබ්මැරීන්, පීට්සා), සීනි සහිත බනිස්, පේස්ට්‍රි, ගැඹුරු තෙලේ බැදගත් ආහාර, කෘත්‍රිම රසකාරක යෙදූ චිලී පේස්ට්, සුප් කැට, සීසනින් පවුඩර් යෙදූ ආහාර සහ ක්ෂණික සුප්, තක්කාලි සහ සෝයා වැනි සෝස් වර්ග, ක්ෂණික නූඩ්ල්ස් සහ පැකට්/ටින් කළ අච්චාරු තහනම් කර ඇත.

එමෙන් ම, චුවින්ගම්, ටොෆි, ලොලිපොප්, ලොසින්ජර්, කිසස්, ජුජුබ්ස්, බොම්බේ මොටයි, බුල්ටෝ වැනි සීනි අධික ආහාර, අයිස් පැකට්, ජෙලි වර්ග, බූන්දි, මස්කට්, දොදොල්, බයිට්ස්, මුරුක්කු වැනි කෙටි ආහාර, චොකලට්, ඩෝනට්, ඉක්ලෙයාර්ස්, බිස්කට්, කේක් සහ අධික සීනි සහිත පුඩින් වර්ග ද තහනම් වේ.

තව ද, අයිස්ක්‍රීම් සහ අධිශීත කළ අතුරුපස, කාබනීකෘත බීම, අධික සීනි සහිත බීම, කෘත්‍රිම රසකාරක සහ වර්ණකාරක යෙදූ බීම, රසකාරක සහ වර්ණකාරක යෙදූ කිරි සහ යෝගට් පාන, ශක්තිජනක පාන, රස කළ පළතුරු බීම, නෙක්ටාර්, කෝඩියල් සහ ක්ෂණික තේ හා කෝපි වර්ග ද තහනම් කර ඇත.

https://www.bbc.com/sinhala/articles/cy8drpkz7xeo

Posted Jun 25, 2026, 6:45 AM UTC

411
Loading comments…